පළාත් පාලන ආයතන මඟින් එකතු කරනු ලබන දිරන කසළ ප්‍රතිචක්‍රීකරණය කර පරිසර හිතකාමී අයුරින් බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය විසින් දිවයිනේ පළාත් 09 ක් ආවරණය වන පරිදි ජපන් ස්වයංක්‍රීය ස්වායු තාක්ෂණය මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍ර 09ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මඟින් ලබා දී ඇත. මෙම යන්ත්‍ර ජපානයේ කවෂිමා ආයතනයෙන් ආනයනය කරන ලද අතර යන්ත්‍රයක පිරිවැය රු.මි.120 කි. එම යන්ත්‍රය ස්ථාපිත කිරීමේ ගොඩනැගිල්ල මීටර් 100 X 14 ක ප්‍රමාණය වන අතර ඒ සඳහා රු.මි.100 ක් පමණ වැය වේ.

ඒ යටතේ උතුරු මැද පළාතේ ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වන සුංගාවිල ස්ථාපිත කරන ලද කාබනික පොහොර මධ්‍යස්ථානය විවෘත කිරීම 2019 ජූනි මස 01 වන දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සුංගාවිල ස්ථාපිත කරන ලද මෙම කාබනික පොහොර මධ්‍යස්ථානය මඟින් දිනකට දිරන කසළ මෙ.ටොන් 50 ක් කළමනාකරණය කළ හැකි අතර ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සහ ආසන්න පළාත් පාලන ආයතන වන පොළොන්නරුව මහා නගර සභාව, පොළොන්නරුව ප්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, දිඹුලාගල ප්‍රාදේශීය සභාව හා වැලිකන්ද ප්‍රාදේශීය සභාව යන ආයතන වල දිරන කසළ සඳහා ද විසඳුමක් ලැබේ. එසේම මෙමගින් දිනකට කාබනික පොහොර ටොන් 25ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතී.

Lankapura 1    Lankapura 2JPG
     
Lankapura 3JPG   rsz lankapura 4

 

මෙහි තවත් පියවරක් වශයෙන් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වන දිගම්පතහ ස්ථාපිත කරන ලද කාබනික පොහොර මධ්‍යස්ථානය විවෘත කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම සිදු විය.

දඹුල්ල දිගම්පතහ ස්ථාපිත කරන ලද මෙම කාබනික පොහොර මධ්‍යස්ථානය මඟින් දිනකට දිරන කසළ මෙ.ටොන් 50 ක් කළමනාකරණය කළ හැකි අතර දඹුල්ල මහා නගර සභාවේ සහ ආසන්න පළාත් පාලන ආයතන වන දඹුල්ල ප්‍රාදේශීය සභාව, ගලේවෙල ප්‍රාදේශීය සභාව, නාඋල ප්‍රාදේශීය සභාව හා කැකිරාව ප්‍රාදේශීය සභාව යන ආයතන වල දිරන කසළ සඳහා ද විසඳුමක් ලැබේ. එසේම මෙමගින් දිනකට කාබනික පොහොර ටොන් 25ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතී.

dambulla 1   dambulla 2   dambulla 3
         
dambulla 4   dambulla 5   dambulla 6
         
dambulla 7