රටක මහජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සෑම රටකම ප්‍රමුඛතම ඉලක්කයක් මෙන්ම අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකාව ද උත්සහ කරන්නේ ආර්ථීකමය , සමාජීය හා සංස්කෘතික වශයෙන් දියුණු සංවර්ධිත මට්ටමක් කරා ගමන් කර මහජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි. මේ ක්‍රියාවලියේ දී ප්‍රාදේශීය මටිටමෙන් හා පළාත් මට්ටම්න් පවතින අසමානතා අවම කිරීමටත් ජාතික ආර්ථීක සංවර්ධනයට දායකත්වය ලබාදීමටත් රටේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය වැඩි දුරට ශක්තිමත් කිරීමටත් ප්‍රශස්ත සේවාවක් මෙරට ක්‍රියාත්මක පළාත් සභා හා පළාත් පාලන පද්ධතියෙන් ඉෂ්ට වී තිබේ.

මෙම තත්ත්වය තුල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පසුගාමී පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම මගින් ඒවායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබා දීම සදහා කටයුතු කර ඇත. විශේෂයෙන් දෛනික කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායම් තත්වයක් නොමැතිකම නිසා බොහෝ ප්‍රාදේශීය සභාවලට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බැවින් එවැනි ප්‍රාදේශීය සභා තෝරාගෙන ඒවායෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා ද මුදල් ප්‍රතිපාදන ලබා දී ඇත.

වර්තමානයේ මුළු මහත් ලෝකයටම අභියෝගයක් වී පවතින ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමට මෙම අමාත්‍යංශය විසින් කටයුතු කරනු ලැබේ. මෙහි මූලික පියවරයක් වශයෙන් අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා සෙසු පහසුකම් පළාත් පාලන ආයතන වෙත ලබාදීමට කටයුතු කර තිබේ. තවද, ඩෙංගු මර්ධනය සඳහා ද අවශ්‍ය කරන සහය ලබා දී ඇත. පළාත් සභා සහ පලාත් පාලන ආයතන පිළිබද ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම පිළිබද පසුවිපරම් කටයුතු සදහා මූලිකත්වය ලබාදී ඇති අතර මේ වන විට මෙම ක්ෂේත්‍රය මුහුණ දි තිඛෙන යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය හා සමාජ ආර්ථීක දේහය තුල මුහුණ දෙන ගැටලූ‍ වලදී අන්තර්ජාතික ආයතන හරහා ලබා දෙන සම්පත් කාර්යක්ෂම යෙදවීම් සදහා වන ප්‍රමුඛ කාර්යභාරය 2016 වසරේ දී සාර්ථකව ඉටුකිරීමට හැකි විය.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් නිර්මාණය වීමට නම් ප්‍රශස්ත ප්‍රාදේශීය පාලන ව්‍යුහයක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍යය. ඒ සදහා පළාත් සභා හා පලාත් පාලන ආයතන ක්‍රමයෙහි පවත්නා ප්‍රශස්ත තත්ත්වයන් මෙන්ම දුර්වල තත්ත්වයන්ද හදුනාගත යුතු ය. ලෝකයේ ඇතැම් රට වල දියුණු පළාත් පාලන ආයතන විසින් ලඟා කරගෙන ඇති ඉහළ කාර්යය සාධන දර්ශක වලට ලඟා විය හැකි ක්‍රියාමාර්ග වලට එළඹෙමින් ඉදිරි අවුරුදු පහ ඇතුළත මෙරට පළාත් පාලන ආයතන පද්ධතිය සමස්තයක් වශයෙන් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමද මෙම අමාත්‍යංශයේ ප්‍රධාන අරමුණකි.

විශේෂයෙන්ම පළාත් පාලන ආයතන පනත වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම, පලාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම හා පවත්නා පළාත් පාලන ආයතන උසස්කිරීම සදහා ජාතික නිර්ණායක පද්ධතියක් සකස් කිරීම, පළාත් පාලන කොට්ඨාශ සීමා නිර්ණ අභියාචනා විමර්ශණ කමිටුව මගින් සුදුසු පරිදි කොට්ඨාශ, මායිම්, නම් අංක හෝ අක්ෂර සංශෝධනය කිරිම වැනි සුවිශේෂී වු ප්‍රතිපත්තිමය කරුණු මෙම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සිදුකර ඇත.

ඒ සමඟම නව පරිගණක තාක්ෂණ ක්‍රමවේද යොදා ගනිමින් දැනට අත්හදා බලා ඇති පෙරටු කාර්යාල ක්‍රමය සියලූ‍ම පළාත් පාලන ආයතනවලට හඳුන්වා දීම සහ ජාතික ආර්ථීකය තුළ පළාත් සභා සහ පලාත් පාලන ආයතන වගකිවයුතු කාර්ය භාරයක් ඉටු කරන ව්‍යුහයක් නිර්මාණය කිරිම සඳහා අවශ්‍ය කරන ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ශක්‍යතාව ඇති ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ ඉලක්කගත වැඩපිළිවෙල හදුන්වාදීම ද අමාත්‍යංශයේ ඉදිරි සැලැස්මෙහි ප්‍රධාන අංගයකි.