අහසින් වැටෙන එකඳු දියබිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදී, ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම රජයේ ව්‍යායාමයයි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මේ මහ පොළව තුළ පැල කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා කිරීම අපගේ වගකීම බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ, උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු යන පළාත් 7ක, දිස්ත්‍රික්ක 15ක, පානීය ජල අපහසුතා පවතින ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන සඳහා රුපියල් මිලියන 490 ක වියදමක් දරා පානීය ජල බවුසර් රථ 35 ක් බෙදා දීමේ අවස්ථාවට කොළඹ ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේදී 2022.08.25 දින එක්වෙමිනි.

යාපනයේ ඩෙල්ෆ්, වව්නියාවේ දකුණ සිංහල ප්‍රා.ස., වෙංගලචෙට්ටිකුලම් ප්‍රා.ස., මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රා.ස., මන්නාරම ප්‍රා.ස., කිලිනොච්චියේ පූනකරි ප්‍රා.ස. මෙන්ම ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රීපුර ප්‍රා.ස., මොරවැව ප්‍රා.ස., ගෝමරන්කඩවල ප්‍රා.ස., මඩකලපුවේ පෝරතිව්පත්තු ප්‍රා.ස., මන්මුනේ නිරිත ප්‍රා.ස., මන්මුනේ බටහිර ප්‍රා.ස., කෝරළේපත්තු උතුර ප්‍රා.ස., අම්පාරේ ආලයඩිවෙම්බු ප්‍රා.ස., මහඔය ප්‍රා.ස., ලාහුගල ප්‍රා.ස. වෙතද මෙම බවුසර බෙදා දුන්නේය.

එමෙන්ම අනුරාධපුරයේ පලාගල ප්‍රා.ස., මැදවච්චිය ප්‍රා.ස., කැබිතිගොල්ලෑව ප්‍රා.ස., මධ්‍යම නුවරගම්පළාත ප්‍රා.ස., කහටගස්දිගිලිය ප්‍රා.ස., ගලෙන්බිඳුනුවැව ප්‍රා.ස., ගල්නෑව ප්‍රා.ස., රාජාංගනය ප්‍රා.ස., පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රා.ස. මෙන්ම පුත්තලමේ කරුවලගස්වැව හා නවගත්තේගම ප්‍රා.ස.වෙතද බවුසර ලබාදීමට කටයුතු කෙරිණි.

මීට අමතරව මහනුවර- මිනිපේ, මාතලේ- අඹන්ගඟකෝරළේ, ලග්ගල,පල්ලේගම, විල්ගමුව, බදුල්ල- බණ්ඩාරවෙල, සොරණාතොට, මොනරාගල- සියඹලාණ්ඩුව, හම්බන්තොට- ලුණුගම්වෙහෙර යන ප්‍රා.ස. වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ජල බවුසර බෙදා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.............

" අපේ ශිෂ්ටාචාරය ජලය මත ගොඩනැගුනු එකක්.  පැරකුම්බා රජුගේ වචනය වන, මහපොළවට වැටෙන කිසිඳු ජල බිංදුවක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට ඉඩ නොදිය යුතුයි.  ඒ නිසා අපට විශාල අභියෝගයක් තිබෙනවා, ආහාර නිෂ්පාදනයට, කෘෂිකාර්මික වගාවට ප්‍රමුඛත්වය ලබා දී ස්වයංපෝෂිත ගම්මාන රටපුරා ඇතිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට. ඈත එපිට ප්‍රදේශ වල පානීය ජලය ලබා ගැනීම දුෂ්කර පළාත් පාලන ආයතන සඳහා මෙම වැඩසටහන මගින් ජල බවුසර රථ ලබා දීමට අපි තීරණය කළා. ඒ වාගේම පානීය ජලය රැගෙන යන මේ ජල බවුසරය අදාළ පළාත් පාලන ප්‍රදේශ‍යෙන් පිටතට හදිසි අවස්ථාවට රැගෙන යන පරාර්ථකාමී හැඟීමද ක්‍රියාවට නැංවිය යුතුයි. නවීන උපකරණවලින් සමන්විත බවුසර රුපියල් මිලියන 500 න් එහාට ගිය සම්පත් ජාලාවක්. එම සම්පත් නඩත්තු කර, ආරක්ෂා කර, ජනතාව වෙනුවෙන් සේවයට යොදවන ලෙස සියලු පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා .ජනතාවගේ පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දීමට පසුගිය රජයන් විවිධ ව්‍යාපෘතින් හඳුනාගෙන ආරම්භ කළත් ඒ සමහර ව්‍යාපෘතීන් අතරමග නැවතී තිබෙනවා.අපි රජයක් ලෙස මේ වන විට අවධානය යොමු කර තිබෙනවා, මේ අතරමග නැවතී ඇති එම ව්‍යාපෘති යළි සක්‍රීය කොට වැඩ අවසන් කිරීමට. මමත් පසුගිය රජයන්වල ජල සම්පාදන අමාත්‍යවරයෙකු විදියට කටයුතු කරල තියෙනවා.මම ඒ නිසාම දන්නවා උතුර ,නැඟෙනහිර පළාත්වල පවතින ජල ගැටළුව. කොහොම වුනත් අද මේ ගන්නා වූ ප්‍රයත්නයත් ඒ ප්‍රදේශවල ජනතාවගේ ජල ගැටළුවට විසඳුම් ලබා දීමට ඉවහල් වේවී කියල මම කල්පනා කරනවා. අලුත් අදහස්වලින් පිරුණු, අලුත් අභියෝග ජයගන්නා කාලයකට පිවිසෙන්න අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා හැටියට අපි සූදානම් ”

මහජන අවශ්‍යතා පිළිඹිඹු වන පරිද්දෙන් සකසන ලද නිර්ණායකයන්  4 යටතේ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ලබා දුන් දත්ත පදනම් කරගෙන මුදල් අමාත්‍යංශය මගින් සකසන ලද විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම්ව මෙම බවුසර් රථ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

මෙම ජල බවුසර නවීන තාක්ෂණයෙන් සමන්විත බැවින් එය භාවිත කරන රියදුරන්ට හා සහායකයින්ට විධිමත් පුහුණුවක්ද පළාත් පාලන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ටොයොටා ලංකා(පුද්.) සමාගමේ දායකත්වයෙන් සිදු කෙරේ.

මෙම අවස්ථාවට, නිමල් සිරිපාල ද සිල්වා, , මහින්ද අමරවීර ,  ඩග්ලස් දේවානන්ද , කෙහෙළිය රඹුක්වැල්ල , නසීර් අහමඩ් යන  අමාත්‍යවරු, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මෙන්ම පා. ම. වන විමලවීර දිසානායක ,  ඩී වීරසිංහ, අනුරාධ ජයරත්න , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , රෝහණ දිසානායක  ශෂීන්ද්‍ර රාජපක්ෂ,  කපිල නුවන් අතුකෝරළ , කාදර් මස්තාන් යන මහත්වරු සහභාගි වූහ. එමෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ඇතුළු නිලධාරීහු සහ ඒ ඒ ප්‍රා.ස.වල සභාපතිවරු එක්ව සිටියහ.

 

DSC 0324JPG   DSC 0330JPG   DSC 0318JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG   DSC 0365JPG   DSC 0416JPG
         
DSC 0401JPG