news3රටක ඇතිවන සිදුවීමක ජාතික ප්‍රශ්නයක් බවට පත්වන්නේ එම සිදුවීම ජන ජීවිතයේ පැවැත්මට කෙතරම් බලපෑමක් ඇතිකරනවාද යන කාරණය එක්ක. අද දවසේ ප්‍රධාන ප්‍රශ්නය තමයි කුණු පිළිබඳ ගැටලුව මේ ප්‍රශ්නය ඇතිවුනේ පසුගිය අප්‍රේල් මාසේ මීතොටමුල්ල සිදුවීමක් එක්ක. අදවන විට කසල ප්‍රශ්නය මෙරට ප්‍රධානතම ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා ඉවරයි.ඒකට හේතුව තමයි මේ සිදුවීම එක්ක වාණිජමය හා දේශපාලන පරමාර්ථ ක්‍රියාත්මක වීම. එම වාණිජමය හා දේශපාලන පරමාර්ථ හරහා ඉතාම සුළු සිදුවීම් පවා ප්‍රධාන ජාතික ප්‍රශ්න බවට පත්වෙනවා අද කසල ප්‍රශ්නය එවැනි සිදුවීමක් සමඟ ඇති වූ වානිජමය හා දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිපලයක්. නමුත් අද කසල ප්‍රශ්නය හේතුකොට ගෙන මෙරට සෞඛ්‍ය කේෂත්‍රය තුළ දැවැන්ත අර්බුදකාරී වාතාවරණයක් ක්‍රියාත්මක වෙනවා . ඒ ඩෙංගු වසංගතය රටපුරා ඉතාම සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීමත් සමඟ ජන ජීවිතය තුළ ඇතිවන බිඳවැටීම. නමුත් රජයක් ලෙස මෙම තත්ත්වය නිවැරදිව කළමණාකරනය කරන්න හැකිවෙලා තිබෙනවා. අඩුපාඩු තිබුනත් සියල්ල උපරිමයෙන් ඉටුකරන්න රජය ක්‍රියාකරලා තියෙනවා. මේ කසල ප‍්‍රශ්නය සඳහා වුවත් ඉතා ඉක්මන් ක්‍රියාමාර්ග ගෙන පැවති තත්ත්වය යථා තත්ත්වයට පත්කරන්න රජය කටයුතුකරලා තිබෙනවා. නමුත් මෙම තත්ත්වයට රජයක් විදියට උපරිමය ඉටුකළත් සමාජමය වශයෙන් චර්යාත්මක වෙනසක් සිදුනොවන්නේ නම් කසල අර්බුදය මේ ආකාරයෙන්ම පවතින්නට ඉඩ තිබෙනවා. ඒ සඳහා මාධ්‍ය වෘත්තිකයන් ලෙස ඔබලාට සුවීශේෂී සමාජ මෙහෙවරක් ඉටුකරන්න කාලය ඇවිල්ලා. පසුගිය යුධ සමය තුළ, ඇති වූ ආපදා තත්ත්වයන්, තුළ ඔබලා ඉටුකළ සේවය ඉතාම විශිෂ්ඨයි. මේ සඳහාත් ඔබලාගේ ඒ සුවිශේෂී සමාජ මෙහෙවර හරහා දායකත්වය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

පසුගිය දා අපද්‍රව්‍ය කළමණාකරන කාර්ය සාධන බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී මෙරට සමාජය තුළ චර්යාත්මක වශයෙන් ඇති කළ යුතු තත්ත්වය පිළිබඳ මාධ්‍යයේ කාර්යභාරය වඩා විධිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් අද (2017 ජූලි 07 වැනිදා) උදෑසන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.එහි දී පැමිණි සිටි මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා අමාත්‍ය ෆයිසර් මුස්තපා මැතිතුමා මෙම අදහස් ප්‍රකාශ කරන ලදි. මෙහි දී පැමිණි සිටි සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඉදිරියේ දී ඇතිකළ යුතු සමාජමය වෙනස උදෙසා ප්‍රධාන ධාරාවේ බලපෑම් කණ්ඩායමක් ලෙස මාධ්‍ය වෘත්තිකයන්ගේ කාර්ය භාරය හා ආයතන මට්ටමින් ලබා දිය හැකි දායකත්වය පිළිබඳව සියලු දෙනා අමාත්‍යවරයා සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදි. එමෙන්ම මාධ්‍ය ආයතනවලින් මේ සඳහා ලබාදිය හැකි දායකත්වය පිළිබඳව එක් එක් මාධ්‍ය ආයතන වෙන් වෙන් වශයෙන් යෝජනා ඉදිරිපත්කරන ලදි.

විශේෂයෙන් අපද්‍රව්‍ය කළමණාකරන කාර්ය සාධන බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සෘජු සබඳතා පවත්වා ගනිමින් එමඟින් ලබා දෙන දෛනික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත්කිරීම හා විවිධ ප්‍රදේශ වල අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් පැමිණිලි හා යෝජනා මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලබාදීම හැකි අයුරින් ජනතාව දැනුවත්කිරීමටද එකඟ විය. එසේම ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් සෑම පුරවැසියෙක්ගේම වගකීම පිළිබඳව නිරන්තරයෙන් ප්‍රජාව වෙත විශේෂ මාධ්‍ය ක්‍රමවේදයක් මඟින් දැනුම් දීම ආදී කරුණු රැසක් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි

අපද්‍රව්‍ය කළමණාකරන කාර්ය සාධන බලකා මධ්‍යස්ථානයේ දුරකථන ඇමතුම්

+94 113 301 445
+94 115 993 755