newsපළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන්ගේ සංකල්පයක් ලෙස ආරම්භ කරන ලද “නිකසල වැඩබිම” සංකල්පය පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරම්භ කරන ලදි. වර්තමානයේ දී සමස්ත රටම මුහුණ දී තිබෙන දැවැන්ත කසල අර්බුදය වෙනුවෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයේ කාර්යාලයක, කර්මාන්ත ශාලාවක හෝ වෙනයම් වැඩබිමක, යහපත් පරිසරයක් පවත්වාගෙන යාම උදෙසා ජාතික ශ්‍රමදාන වැඩසටහන “නිකසල වැඩබිම”, වැඩසටහනේ අරමුණයි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ පරිශ්‍රය තුල ස්ථාපිත අපදව්‍ය කළමණාකරන කාර්ය සාධන බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය වෙතින් ලැබූ තොරතුරු අනුව සෑම නාගරික පරිසරයකම පිහිටි කාර්යාල පරිශ්‍රයන් තුල ඩෙංගු කීටයන් බෝවිය හැකියැයි විශ්වාස කල හැකි ස්ථාන රැසක් පිළබද පසුගියදා වාර්තා විය. මේ පිළිබද වි‍ශේෂ අවධානයක් යොමු කල අමාත්‍ය ෆයිසර් මුස්තෆා, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් මත සියළුම රාජ්‍ය හා පුද්ගලික අංශයේ කාර්යාල පරිශ්‍රයන් ඩෙංගු ශුන්‍ය කලාපයන් බවට පරිවර්තනය කිරීමේ වැඩසටහන“නිකසල වැඩබිම” නමින් ආරම්භ කරන ලදි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ පරිශ්‍රය තුල පසුගිය 14 වන දින එහි සමාරම්භක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. එහි දී අමාත්‍යාංශ පරිශ්‍රය, සියළුම නිලධාරීන්ගේ හා සේවක පිරිසගේ සහභගීත්වයෙන් පිරිසිදු කරන ලදි. එහි දී එක් රැස් වූ සියළු අපද්‍රව්‍ය වර්ගීකරණය කොට නිසි පරිදි බැහැර කරන ලදි. මෙම නියමු ව්‍යාපෘතියෙන් පසු “නිකසල වැඩබිම” කඩිනමින් ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.