DSC 1149“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කරන පක්ෂයක්. කවදාවත් නීතියට පටහැනිව ඡන්දය කල් දැමීමක් කරන්නෙ නෑ. මේ පිළිබද අවබෝධයක් නොමැති පිරිස් මොන දේ කිව්වත් පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය පනත් සම්මත වූ වහාම රජය ඡන්දය පවත්වනවා. මේක අපි එකිනෙකා ජනප්‍රිය වෙන්න මාතෘකාවක් නොවෙයි. ජනතාවාදී දේශපාලඥයන් මේවගේ මාතෘකාවක් තමන්ගේ දේශපාලන වේදිකාවට ගේන්නෙ නෑ. නමුත් මම වගකීමෙන් කියනවා රජය කිසිම දවසක ජනතා පරමාධිපත්‍ය බලය අවතක්සේරු කරන්නෙ නෑ නියමිත පරිදි ඡන්දය පවත්වන්න කටයුතු කරනවා .”

ශ්‍රී ලංකා තරුණ මුස්ලිම් සම්මේලනයේ 67 වන වාර්ෂක සමුළුව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන් මෙම අදහස් පල කිරීම සිදුකලා. මෙරට ඉතාම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා තරුණ මුස්ලිම් සම්මේලනය මුස්ලිම් ජනතාවගේ ප්‍රජා අවශ්‍යතා රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. අධ්‍යාපන සේවා හා යටිතල පහසුකම් සංවර්ධනය ආදී ක්ෂේත්‍රයන් හරහා මේ දක්වා විශාල සේවයක් ඉටුකර ඇත. වාර්ෂික සම්මේලනයේ ප්‍රගති සමාලෝචනය පිළිබද මෙම රැස්වීම සදහා නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද සහභාගී වී සිටියහ.

මෙහි සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා වෙත සුවිශේෂී සම්මානයක් ප්‍රදානය කිරීමයි. යම් කාල පරිච්ඡේදයක් තුල රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන පුද්ගලයෙකු වෙත වාර්ෂිකව පිරිනමන මෙම සම්මානය මෙවර හිමි වූයේ මහින්ද දේශප්‍රිය මහතාටයි. එහි දී ඔහු දැක්වූ අදහස් ද අගය කරමින් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා“ අද මාධ්‍යයෙන් වුවත් සමහර දේශපාලඥයින්ගෙන් වුවත් බැනුම් අහන්නෙ අපි දෙන්නා. මැතිවරණ කොමසාරිස්තුමයි මමයි. අපි දෙන්නා එකතුවෙලා පළාත් පාලන ඡන්දය කල්දමනවා කියලා. ඒත් එහෙම දෙයක් නෑ. පාර්ලිමේන්තුව තුල සිදුවන කටයුතු ඉවර වුනු වහාම ඡන්දය පවත්වන්න රජය කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම හොදින් ගරු කරන කෙනෙක්. එතුමා කිසි දවසක ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලුවට ලක්කරන්නේ නෑ. එවැනි දේකට ඉඩ දෙන්නෙ නෑ. කියලා වගකීමෙන් කියනවා. ”