news6“කොළඹ නගරය තුලත් වෙනත් ප්‍රධාන නගරවලත් පදික වේදිකාවේ හෝ වෙනයම් ස්ථානයක ස්වයං රැකියාවක නිරත වන පුද්ගලයන් දහස් ගණනක් අපේ රටේ ඉන්නවා. ඔවුන් සියළු දෙනාම එහි දී විශාල වෘත්තීමය ගැටළුවලට මුහුණ දෙනවා. ඒ සියල්ල ඔවුන් ඉදිරිපත් කරන්නේ දේශපාලඥයින්ට. පහුගිය කාලෙ දී මට මතකයි; පදික වෙළදුන් ඉත්තන් කරගෙන ඔවුන් දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගත්තා. ඒ වගේම ඔවුන්ගේ මූල්‍යමය හා වෙනත් ආකාරයෙන් අල්ලස් ගත්තා. නමුත් යහපාලනය තුල එවැනි පහත් ක්‍රියා නෑ. නිරන්තරයෙන් ජනතාවගේ පැත්ත ගැන හිතල තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා කොළඹ නගරයේ ස්වයං රැකියා වෘත්තිකයන්ගේ වෘත්තියමය ගුණාත්මක බව වැඩි කරන්න රජයක් ලෙස අපි උපරිම කැප වෙනවා”.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමන් මේ අදහස් පලකරනු ලැබූයේ කොළඹ නගරයේ ස්වයං රැකියා වෘත්තිකයන් මුහුණ දෙනු ලබන ගැටළු පිළිබද සොයා බැලීම සදහා කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදීය. පදික වේදිකා ස්වයං රැකියා නියුක්තිකයන් වෙත දේශපාලනික වශයෙන් සිදු වූ අසාධාරණයන් පිළිබදව තොරතුරු මෙහි දී විශේෂයෙන් සොයා බලනු ලැබූ අතර එහි දී එම අසාධාරණයන් නිවැරදි කිරීමට කටයුතු කරන බව එතුමන් ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාව සදහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබූර් රහුමාන්, පළාත් සභා මන්ත්‍රී එම්.එස්.එම්. ෆයිරූස්, ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ සදහා සහභාගී විය.