“අද ශ්‍රී ලංකා ඉතිහාසයේ පළාත් පාලන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇති කිරීමට පළාත් සභා සහ පළාත් පාලන ඇමති හැටියට සියයට 25ක කාන්තා නියෝජනයක් සියලූම පළාත් පාලන ආයතනයට ලබාදීම මා භාග්‍යයක් හැටියට සලකනවා. කාන්තාවන් පවුලකට දෙන නායකත්වය රටටම දීම වැදගත්. හැබැයි අපි දන්නවා පිරිමියෙකුට වඩා කාන්තාවකට තමන්ගේ පෞරුෂත්වය වැදගත්. අද මේ කාන්තාවන් ඇතුළත්වීම රටටත් ජයග්‍රහණයක්. අපි මේ ඉදිරියට එන කාන්තාවන් පස්සට ගැහුවනං අපිට මේ ජයග්‍රහණය නැතිවෙනවා. මං හිතන්නේ අද මෙවැනි කාන්තාවන් රැකගන්න එක තමුන්නාන්සේලාගේ වගකිම. මං හිතන්නේ අද කාන්තාවන් අපි පළාත් පාලන ආයතනවලට යවනකොට ඒ තුළින් පළාත් පාලන ආයතනවල සමාජීය සහ ආර්ථික වෙනසක් අනිවාර්යෙන්ම ඇතිවෙනවා. අද හුඟාක් අය චෝදනා කරනවා පළාත් පාලන ආයතනවල දූෂණය සහ අකාර්යක්ෂමතාව තියෙනවා කියලා. ඒවගේම පළාත් පාලන ආයතනවල මන්ත්‍රිවරු කොන්ත්‍රාත්කරුවන් බවට පත්වෙලා තියෙනවා කියලා. ඒ යුගයෙන් ඈත්වෙන්න තමුන්නාන්සේලා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ”

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා මෙම අදහස් පළකළේ වසර 3ක කාලයක් තිස්සේ ඉතා අබලන් තත්ත්වයක පැවති ගෝණමඩිත්ත ප්‍රධාන මාර්ගය, කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.

අමාත්‍යතුමන්ගේ උපදෙස් මත කාපට් අතුරා සංවර්ධනය කිරීමට වැය වූ මුදල රුපියල් ලක්ෂ 80කට ආසන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා.  

“ මේ පක්ෂේ කාගෙවත් බූදලේ වුණේ නෑ. අපි දේශපාලන පක්ෂයක් වටා රොක්වෙන්න ඕනේ. අද තීරණාත්මක අවධියක් පක්ෂයක් වටා අපි රොක් වෙනවද? පවුලක් වටා අපි රොක් වෙනවද? මා විශ්වාස කරනවා අපි දේශපාලනේ කරනකොට අපි පක්ෂයක් ශක්තිමත් කළ යුතුයි. ඒනිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිම තමුන්නාන්සේලාගේ වගකිමක් ලෙස සලකනවා. ඒනිසා අපට අවශ්‍ය ඡන්ද කාලෙක බඩු බෙදන, ටකරං බෙදන, දැන්නම් හැම දෙයක්ම බෙදනවා. මෝටර් සයිකලුත් බෙදනවා.. දැන් පුස් සයිකලුත් බෙදනවා. හෙට අනිද්දා කාර් බෙදන්න පටන් ගනීද දන්නෑ. බඩු බෙදනකොට ගන්න. හැබැයි තමුන්ගේ ඡන්දේ වටිනා ඡන්දේ හරි පුද්ගලයාට දෙන්න. ගත්තා කියලා ඡන්දේ දෙන්නේ නෑනේ. ඡන්දේ දානකොට බලන්නේ නෑනේ කාටද ගහන්නේ කියලා. ඒනිසා තමුන්නාන්සේලාගේ වටිනා ඡන්දේ රට වෙනුවෙන් දෙන්න කියන පණිවිඩේ තමුන්නාන්සේලාට මං කියනවා. හේතුව අපි දේශපාලනයෙදි ඡන්දේ දිය යුත්තේ දේශපාලනඥයින්ට නෙමෙයි. ජනතා පුත්‍රයොන්ට.”

මෙම අවස්ථාවට අභිනවයෙන් කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් පිදුම් ලද ව්‍යාපාරිකා දීපා එදිරිසිංහ මහත්මිය ද එක්ව සිටියා. එහිදී දේශපාලනයට පැමිණිමට තමන් තීරණය කළේ ඇයිද යන්න පැහැදිලි කළා.

 “ මම කියන්න කැමතියි සෝමා එදිරිසිංහ මැතිණිය මගේ මව ඇය ජනසරණ සහ පුනර්ජීව අරමුදල මඟින් මේ රටට සෑහෙන සේවයක් කරලා තියෙනවා. මමත් ඇය සමඟ නිහඩව හැම තැනම ඒ ප්‍රජා සත්කාරවලට උදව් වුණා. ඇයගේ අභාවයෙන් පසු මමත් මගේ සහෝදරයනුත් අවුරුදු දෙකක් විතර ඒ වැඩපිළිවෙල් අපිට හැකි අයුරින් අපි කරගෙන ඉදිරියට ගියා. ඊට පස්සේ මට කල්පනා වුණා මේ වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙනියන්න නම් අපි පක්ෂයක් සමග සම්බන්ධවෙලා අපේ ජනතාව වෙනුවෙන් අපි සෙතක් සලසන්න පුළුවන් තව ගොඩක් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. මං ඒනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරා ගත්තා. ඉතිං මං හිතනවා අපිට මේ වැඩකටයුතු කාන්තාවන් වෙනුවෙන් සහ රටේ ළමුන් සහ අවශ්‍ය හැමදෙනා අතරට ගිහින් ඔබලාගේ ඕනෑකම් බලා ඒ සඳහා වැඩ කිරීමට මමත් ඇපකැපවෙලා සිටිනවා. ”

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා, සෝමවීර චන්ද්‍රසිරි පදනමේ සභාපති සුජීවා චන්ද්‍රසිරි මහත්මියගේ ඉල්ලීමකට අනුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග කිලෝමීටර 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසහන යටතේ ගෝණමඩිත්ත මාර්ගය සංවර්ධනය කිරීමට ප්‍රතිපාදන ලබාදුන්නා. මාර්ගය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ සුජීවා චන්ද්‍රසිරි මහත්මිය.

“මේ ගරු ඇමතිතුමන් මේ ප්‍රදේශයට, කැස්බෑව ප්‍රදේශයට කරන ලද මහඟු සේවය වෙනුවෙන් මේ කළගුණ සලකන්නට උත්සාහයක් දැරුවා පමණයි. අපට ඉදිරියේදී අපේ ගරු ඇමතිතුමන්ට කළගුණ සැලකීමට තව බොහෝ අවස්ථා ලැබේවි. මම හිතන්නේ මේ කැස්බෑවේ ජනතාව, මේ ගෝණමඩිත්ත පාරේ ජනතාව එවැනි අවස්ථාවක් උදාවුවහොත් එය නොපිරිහෙලා ඉටු කරාවි. කිසි දිනක මඟහරින එකක් නෑ.”

05 04
09 14
19 22