04පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 138ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49ක්. කෙසේවෙතත් 08 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.  පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි පුද්ගලයින් පිළිබඳව අදහස් පළකළා. අමාත්‍යතුමන් එහිදී අවධාරණය කළේ සම්මුතිවාදී ආණ්ඩුවක හිදිමින් මෙම පනත් කෙටුම්පතට විරුද්ධවිමට කිසිදු කැබිනට් ඇමතිවරයකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි. ජාතිවාදී මුහුණුවරකින් දේශපාලනය කිරීම වහාම නතර කළ යුතු සේම, ලාංකිකයන් ලෙස අප යන ගමනේදී තමන්ගේ ජාතිය වෙනුවෙන් යැයි කියමින් ජනතාව තුළ වැරදි ආකල්ප ඇතිවන ලෙස හැසිරීමද සදාචාරාත්මක දේශපාලනඥයකුට තරම් නොවන බවයි. තමන් එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත නොකරන අතර ඊට එරෙහිව තමන් ඕනෑම අවස්ථාවක නොබිව ඉදිරිපත් වන බවද අමාත්‍යතුමා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා. මෙම මාධ්‍ය හමුවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහතාද සහභාගි වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා.

“අපි කෙටුම්පතක් ඉදිරිපත් කළා කාන්තා නියෝජනය සම්බන්ධව. කැබිනට් මණ්ඩලයේ කිසිම ඇමතිවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නෑ මේ කාරක සභාවේ ගෙනාපු සංශෝධනය සම්බන්ධයෙන් විරෝධතාවයක් ප්‍රකාශ කරන්න. හේතුව අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කළා. ඒ කැබිනට් අනුකමිටුවේ රාවුෆ් හකීම් ඇමතිතුමා, රිෂාඩ් ඇමතිතුමා, මනෝ ගනේෂන් ඇමතිතුමා, මහින්ද අමරවීර ඇමතිතුමා, දුමින්ද දිසානායක ඇමතිතුමාගෙන් සමන්විත වුණා. හැබැයි ඒ අනුකමිටුවේ සහභාගි නොවී පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධතාවය විරෝධතාවයන් ප්‍රකාශ කිරිම ගැන මම කණගාටුවෙනවා. හේතුව කැබිනට් අනුකමිටුවක තමන් සහභාගිවුණනත් නැතත් තමන් වගකීමක් දරන්න ඕනේ ඒ අනුකමිටුවේ තීන්දු තීරණවලට. ඒවගේම ඒ කැබිනට් අනුකමිටුවේ වාර්තාව මං කැබිනට් මණ්ඩලයට යොමු කළා. ඒ අනුකමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමු කරනවා කියන්නේ කැබිනට් මන්ඩලයේ සියලුම ඇමතිවරු මේ ක්‍රමවේදය ඒ කියන්නේ බහු ආසන සම්බන්ධයෙන් රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුව දැනුවත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිම ඇමති කෙනෙකුට තමාගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න බෑ. සමහර ඇමතිවරු අද ප්‍රකාශ කරා මේ බහු ආසනවල පළවෙනි ඡන්දේ ගත් පක්ෂයට පළවෙනි එකයි. දෙවෙනුවට ඡන්දේ ගත් පක්ෂයට දෙවෙනි ආසනේ හිමිවෙන්න. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි විරුද්ධ වුණා ප්‍රතිපත්තිමය වශයෙන් බහු ආසනයක් දිනපු පක්ෂෙට ආසන සියල්ලක්ම පිරි නැමීම. හැබැයි අපි සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ. යම් යම් එකඟතාවයකට අපි යා යුතුයි. ඒනිසා සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නකොට සෑම විටම තමන්ට අවශ්‍ය දේ සිද්ධවෙන්නේ නෑ. යම් අවස්ථාවලදි යමක් කිරීමේදී පරිත්‍යාගශීලීව කටයුතු කළ යුතුයි කියන එක අපි සමස්ත ලාංකික ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒවගේම අපි දන්නවා උදාහරණයකට වගේ බහු ආසනයක සියයට60ක බෞද්ධ ජනතාවයි 40% ක තව ජන කොටසක ජනතාවයි හිටිය නං, අපි පරණ ක්‍රමය අනුගමනය කළා නම් 60% ක එක් ජාතියක බහුතරයක් ඉන්න නිසා ඒ පක්ෂ සියල්ලක්ම කරන්නේ බහුතරය ඉන්න ජාතියේ අපේක්ෂකයෙක් දානවා. හැබැයි මේ ක්‍රමය යටතේ 60,40 කියන සංයුතිය තිබ්බ නං ජාතීන් දෙකම ඒ පක්ෂය දානවා. ඒ තුළින් වෙන්නේ සහජීවනයට තැනක් තියෙනවා. ඒවගේ ජාතිවාදී මුහුණුවරකින් දේශපාලනය කරන එක අපි නැති කළ යුතුයි. මම නම් මේ ජාතීන්වලින් හදුන්වන පක්ෂවලට මගේ විරුද්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මගේ විශ්වාසය මම ලාංකිකයෙක්. ප්‍රෝඩාවෙන්, බොරුවෙන් දේශපාලනය කරන උදවිය ප්‍රතික්ෂේප කළ යුතුයි.මම අද කණගාටුවෙන් වුණත් රටට මේවා කියන්න සිද්ධවෙලා තියෙනවා. මම පළාත් සභා සහ පළාත් පාලන ඇමති හැටියට මට ජාතියක්, ආගමක්, කුලයක් කවදාවත් අදාළ වුණේ නෑ. මගේම ජාතිය, නියෝජනය වන සමහර අය පාර්ලිමේන්තුවේ ඡන්දය දීමෙන් වැළකීමෙන් බලාපොරොත්තුව, හැබැයි ඒ උදවියම කැබිනට් අනු කමිටුවේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ස්ථාවරය සනාථ කරලා ඒ වෙනුවෙන් කතා කරලා, එය වෙනස් කරන්න ඒගොල්ලන් උත්සාහයක් දැරුවනං අද මේවගේ දේවල් කරන්න අවශ්‍ය නැ. සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නකොට සියලු දෙනාම එකම ස්ථාවරයක ඉන්න ඕනේ. මම අගමැතිතුමන් එක්කත් කතා කරා. අගමැතිතුමත් එක්ක මේ උදවිය සාකච්ඡා කරලා. රාවුෆ් හකීම් ඇමතිතුමා එතුමන් එක්ක සාකච්ඡා කරලා කිව්ව අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරා නං ඡන්දේ දෙනවා කියන එක. ඒනිසා මං ඒ සම්බන්ධයෙනුත් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. අපි සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ සද්භාවයෙන්. අපි සම්මුතිවාදී ආණ්ඩුවට ඇවිල්ලා තමන්ට වාසි වන දේවල්වලට කතා කරන එකයි, අවාසි වෙන එකට ආණ්ඩුවේ ස්ථාවරයෙන් ඈත්වෙන එකයි.. ඒ දේශපාලනය කරන්න නං කිසිසේත්ම මගේ මතයට අනුව මං දන්නෑ ඇතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාන් ගන්න තීන්දු තීරණ. මම කියන්නේ මේකයි. ආණ්ඩුවක් කරනවා නං එකට ඉන්න ඕන.”